හොරණ සුපිරි වෙළඳ සැලකට ඇතුළු වූ පුද්ගලයකු විනාඩි නමයක් තුළදී රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අද (11) අලුයම වෙළඳසැල ඉදිරිපිට තිබෙන කුඩා කුටියක වීදුරුවක් හා ලෑල්ලක් කඩා වෙළඳසැලට ඇතුළු වී තිබූ එම පුද්ගලයා වෙළඳසැල පිටුපසට වන්නට තිබෙන කාර්යාලයේ තිබූ මුදල් මෙලෙස සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඊයේ (10) දින ව්‍යාපාර කටයුතුවලින් එකතුව තිබූ ලක්ෂ 13 කට ආසන්න මුදල සේප්පුවේ තැන්පත් කිරීම සඳහා එය භාරව සිටින නිලධාරියා නොමැති වීම හේතුවෙන් එම මුදල් තොගය ඉටි බෑගයක දමා මේසය යට තැබීමෙන් අනතුරුව එය පිටතට නොපෙනීම සඳහා ලාච්චුවකින් වසා දමා තිබියදී මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය කියයි.
සොරකම සඳහා පැමිණි පුද්ගලයා වෙළඳසැල ඉදිරි පිට දකුණු පසට වන්නට තිබෙන වීදුරු කුටියේ තාප්පය දෙසට වන්නට තිබෙන වීදුරුවක් කඩා ඊට ආවරණය කර තිබෙන හාඩ්බෝඩ් එක කඩා ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එයින් අනතුරුව සැකකරු වෙළඳසැල තුළ තිබෙන සියලුම විදුලි පහන් නිවා දමමින් කාර්යාලය දෙසට පැමිණ එහි දොරද පෙර ආකාරයෙන්ම කඩා ඇතුළු වී කාර්යාලය තුළ විදුලි පහන් දල්වා විනාඩි කිහිපයක් ඒ මේ අත සක්මන් කරමින් මේස බලමින් ලාච්චුව උස්සා බලා මුදල් බෑගය රැගෙන එහි තිබු මුදල් තොගය රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මුදල් සොරා ගැනීම සඳහා එම පුද්ගලයා වෙළඳ සැල තුළට පැමිණෙන විට එහි එලාම් නාද නොවිම දැඩි ගැටලුවක් බවත් එහි කාර්යාලය තුළටම ගොස් මේසය යට ලාච්චුවකින් වසා තිබෙන මුදල් තොගය සොරා ගැනීම සේවය කරන සේවකයෙකු හෝ සේවිකාවක ලබා දුන් ඔත්තුවක් අනුව සිදුකළ බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය සඳහන් කරයි.
මුදල් සොරා ගැනීම සඳහා පැමිණි පුද්ගලයා අලුයම 2.18 ට පමණ වෙළඳ සැල තුළට ඇතුළු වී මුදල් සොරා ගැනීමෙන් අනතුරුව විනාඩි නමයක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී 2.27 පිටවී ඇති බව සීසීටීවී දර්ශන වලින් වැඩිදුරටත් අනාවරණය වී ඇත
පානදුර පොලිස් කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් සහ ඇගිලි සටහන් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.